Florance Nightingale - ෆ්ලොරන්ස් නයිටින්ගේල් (ක්‍රි.ව.1820-1910)
Florance Nightingale - ෆ්ලොරන්ස් නයිටින්ගේල් (ක්‍රි.ව.1820-1910)
ෆ්ලොරන්ස් නයිටින්ගේල් 1820.05.12 වන දින ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර දී උපත ලැබීය. ධනවත්, කුලවත්, ඉංග්‍රීසි යුවලක් වූ ඇගේ දෙමව්පියන් එහි සංචාරයක යෙදී සිටිය දී එම නුවර දී උපන් බැවින් ෆ්ලොරන්ස් යන නාමය පිරිනැමීය.
ඇයගේ දෙමව්පියන් ධනවතුන් වූ බැවින් ඇයට හොඳ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා දීමට හැකි විය. වෙනත් අයට නොලැබෙන් තවත් අවස්ථාවක් ඇයට හිමි විය. එනම් විදේශීය සංචාරයේ යෙදීමයි. බාල වියේ සිටම ඇයට මධ්යධ්රණී, බෝල්කන් හා බටහිර යුරෝපීය රටවල්වල සිය දෙමාපියන් සමඟ සංචාරය කළ ඇයට විවිධ භාෂා ඉගෙනීමටත් රට රටවල බොහෝ විසිතුරු දැක ගැනීමටත් අවස්ථාව ලැබිණ. මේ ගමන් වලදී ඇයට සුන්දර දේ මෙන්ම ඉතා අසුන්දර දේ ද ඇගේ නෙත ගැටිණ. එනම් පැල්පත් හා මුඩුක්කු ආදියේත් මාවත් අයිනේත් සිටි දිළිඳු අසරණ ජනතාවත් ඔවුන් පෙළෙන මන්ද පෝශනය, කුසගින්න හා රෝගාබාධ ආදී තත්වයනුත් දුටු ඇය තුළ ජනිත වූයේ කවදා හෝ මේ අසරණ ජනතාවට සේවයක් කරමි යන අධිෂ්ඨානයයි.
ඇගේ දෙමව්පියන්ගේ අපේක්ශාව වූයේ ඇය උගත් ඉංග්‍රීසි ආර්යාවක් කිරීමටයි. ඇය ඈ වසන මන්දිරයට අලංකාරයක් කිරීමයි. එහෙත් ෆ්ලොරන්ස් නිතර කියැවූයේ ශාස්ත්‍රීය පොත පත නොවේ. පුරුදු පුහුණු වූයේ උසස් ආචාර සමාචාර චාරිත්‍ර-වාරිත්‍ර ආදිය නොවේ. ඈ කියවූයේ රෝගීන්ට ඇප උපස්ථාන කිරීම පිළිබඳව ලියැවුණු පොත් පත් පමණි. පුරුදු පුහුණු වූයේ ඒවායේ දැක්වුණ සාත්තු ක්‍රම පමණි.
ඇය හෙදියක් වීමට ඇති අදහස් හෙළි කළ විට ඇගේ දෙමව්පියෝ මහත් විමතියකට මෙන්ම භ්‍රාන්තියකට පත් වූහ. මන්ද එකල එම වෘත්තියට බැඳුනේ සමාජයේ නූගත් පහල පන්තිවල අය වූ බැවිනි. ඔවුන් අසංවර අශිශ්ට අකාරුණික මෙන් ම කිසිදු පුහුණුවක් නොලද පිරිසක් සේ සලකන බැවිණි.
දෙමව්පියන් මහත් සේ බාධා පැමිණ වූ බැවින් ඇයට එංගලන්තයේ ආරෝග්‍ය ශාලාවකට ඇතුළු වී පුහුණුවක් ලැබීමට නොහැකි විය. ඔවුන් උත්සාහ ගත්තේ ඇය තම හිතවත් පවුල් සමග විදේශ සංචාර යවා ඇයගේ අදහස් වෙනස් කර වීමටයි. ඒ විනෝද සංචාරවලදී ඇය සිදු කළේ විනෝදස්වාදය ලැබෙන ස්ථාන මග හැර අනාථ නිවාස, කන්‍යාරාම තාපසාරාම ආදිය නරඹමින් ඒවායේ දෛනික වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමයි. ජර්මනියට ගිය එවන් අවස්ථාවක හෙදි පුහුණුව ලබා දෙන ස්ථානයක් පිළිබඳව අසා තොරතුරු දැන ගත් ඇය එහි ඇතුලත්ව හෙදි වෘත්තියේ සියළු අංශ මැනවින් හදාලාය. පොත පත කියවා ලබා ගෙන තිබූ දැනුම ඇයට එහිදී ඇයට මහෝපකාරී විය.
ඇය යුරෝපීය රටවල් කීපයකටත් , මිසරයටත් ගොස් පාවුළු නිකායට අයත් කන්‍යා සොහොයුරියන් හා එක්ව ඔවුන්ට අයත් ආයතනවල සංවිධානය නිරීක්ෂණය කළා ය. මේ සියලු පෙර දැනුමෙන් සන්නද්ධ වූ ඇය 1853 දී ලන්ඩන් නුවර රෝගී කතුන්ගේ ආයතනය ( Home for the Sick Women ) හා ඊට අනුබද්ධව හෙදියන් පුහුණු කිරීමේ ආයතනක් ( A Training School for Nurses ) ආරම්භ කළාය.
මේ ආයතනවල ඇය ගෙන ගියේ එවකට පිළිගත් අදහස් වලට පටහැනි ක්‍රියා මාර්ගයි. රෝගී කාන්තාවන් දොර ජනෙල් වැසූ උණුසුම් කාමරවල වසා තැබීමෙන් ඔවුන්ගේ රෝගී තත්වය උග්‍ර වෙතැයි කියූ ඇය ඒ කාමරවල දොර ජනෙල් විවෘත කොට සූර්යාලෝකය හා වාතය මැනවින් ලැබෙන්නට සැලැස්විය. පිරිසිදුකම රෝග සුව වීමට ඉතා වැදගත් සාධකයක් බව කියූ ඈ රෝගී අය දිනපතා හොදින් පිරිසිදු කිරීම හා තුවාල ඇති අයගේ තුවාල පිරිසිදු කිරීම ආදිය විධිමත් කරවූවාය. මෙයින් එම රෝගීහු ඉක්මන් සුවය ලැබූහ. නයිටිංගේල්ගේ කීර්තිය පැතිරිණ. ඇයගේ ක්‍රමය තම ආයතනවල භාවිතා කරන්නට ආරෝග්‍ය ශාලාවල බලදාරීන් පටන් ගත්හ.
ප්‍රංශය හා බ්‍රිතාන්‍යය රුසියාවට එරෙහිව 1854 වර්ෂයේ ආරම්භ කළ ක්රිමියාව ( Crimea ) කේන්ද්‍ර කොටගත් යුද්ධයේදී තුවාල ලත් භටයින් ඒවා බරපතල වීම නිසා රාශී වශයෙන් මියයනු දුටු බ්‍රිතාන්‍ය රජය නයිටිංගේල්ගේ හෙද සේවාවේ පිහිට ඉල්ලා සිටියේය. හෙදියන් කණ්ඩායමක් සමග වහාම එහි ගිය ඈ ක්‍රිමියාවේ හමුදා ආරෝග්‍ය ශාලාවල තත්ත්වය ඇගේ නව ක්‍රම යොදා වෙනස් කළාය. ඇගේ දැඩි විනය හා කැපවීම නිසා තුවාලවලින් මියයන භට සංඛ්‍යාව වේගයෙන් පහළ වැටිණ. සුවය ලබන සංඛ්‍යාව වේගයෙන් ඉහල ගියේය. ඇය බොහෝ රාත්‍රීන් වල පහනක් අතින් රැගෙන රෝගී භටයින් සිටි වාට්ටුවල ඇවිදමින් ඔවුන්ගේ දුක් සැප විමසූ බැවින් ඔවුහු ඇය පහනේ කත ( The Lady of the Lamp ) යන නමින් හැදින්වූහ.
නයිටිංගේල් හෙදි පිරිසේ පාලිකාව හා ප්‍රධානියා වූවද බොහෝ අවස්ථාවල ඇය භටයින්ගේ ඇදුම් සේදීම හා ඔවුන්ගේ මල මුත්‍රා භාජන බැහැර ලීම ආදී කටයුතුවල පවා නිරත වී බව පැවසේ. තුවාලවලට ප්‍රතිකාර ලබමින් සුවය ලබන භටයින්ට ක්‍රීඩා විනෝදාංශ හා පොත්පත් ආදිය සැපයීමෙන් මානසික සෞඛ්‍යය වැඩෙන බවත් එය සුවය ලැබීමට මහෝපකාරී වන බවත් පෙන්වා දුන් ඇය ඔහුන්ට ඇය ඔවුන්ට එම පසුකම් සැලසුවාය.
දීර්ඝ කාලයක් අධික ලෙස වෙහෙසීම නිසා ක්‍රමයෙන් ඇයගේ සෞඛ්‍යය පිරිහෙන්නට විය. වික්ටෝරියා රැජින ප්‍රධාන රාජ මහාමාත්‍යවරු ඇයට ප්‍රශංසා කළ හ. ඇය බොහෝ විට තමන්ට ගෞරව පිණිස සංවිධානය කළ උත්සව මග හැරී බව පැවසේ.
ඇය විසින් කරන ලද අනුපමේය සේවය පිළිබඳව උපකාරයක් වශයෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් ආරෝග්‍ය ශාලාවට අනුබද්ධව නයිටිංගේල් හෙදි අභ්‍යාස විද්‍යාලය පිහිටිවන ලදි. එය විවෘත කරන ලද්දේ ඈ විසිනි.
කිහිපවාරයක්ම රෝගාබාධ වැලදී මරණයේ දොරකඩටම එළඹීය ද ඇය වසර අනූවක් ජීවත් වූ වාය. ඇයට වසර අනුව පිරුණු දින බ්‍රිතාන්‍ය රජයෙන් Order of the Merit සම්මානයත් Freedom of London නම් ගෞරව නාමයත් ඇයට ලැබිණ.
1910.08.13 වන දින නයිටිංගේල් පරලෝ සැපැත් වූ වාය. හෙදියන් සදහා ඇය විසින් සකස් කරන ලද ප්‍රතිඥාව Nightingale Oath යනුවෙන් අදත් ක්‍රියාත්මක වේ.
No comments