Breaking News

Nicolas Kopernicus- නිකලස් කොපර්නිකස් (ක්‍රි.ව.1473-1543)

නිකලස් කොපර්නිකස් වර්ශ 1473.02.19 වන දින පෝලන්තයේ ටෝරාන් (Toran) නම් පැරණි නගරයේ උපත ලැබීය. බාල වියේ සිට ම ඔහු ගණිතය විශයය සඳහා දස්කම් දැක්වූ අතර ම අහස පැහැදිලි දිනවල එළිමහනක සිට තාරකා පිරි ආකාශය දෙස බලා සිටියේ වශී වූ දෑසිනි. ඔහු වයස අවුරුදු දහයේදී ඔහුගේ පියා මෙලොව හැරදා යන්නට ගියේය.

කුඩා පාසලක මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු වයස අවුරුදු දහ අටේදී පෝලන්තයේ ක්‍රැකොව්(Krakow) විශ්ව විද්‍යාලයට ඇතුළු වී තාරකා විද්‍යාව, ගණිතය, ලතින් හා ග්‍රීක භාෂා ඉගෙන ගන්නට විය.ග්‍රීක බස හොඳින් ඉගෙනීමෙන් ඔහුට පැරණි ග්‍රීක විද්වතුන් විසින් ලියා තිබූ  පොත් පත් කියවීමට අවස්ථාව හිමි විය. එමඟින් ඔහුගේ තර්ක බුද්ධිය හා චින්තනය මුවහත් කර ගැනීමට ඔහු සමත් විය.

ක්‍රි.ව.1500දී ක්‍රකොව් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය නිමා කොට ඉතාලියට ගිය නිකලස් එහි සුප්‍රකට පාදුවා (Padua) විශ්ව විද්‍යාලයට ඇතුළු වී එහි පර්යේශක තනතුරක් දැරීය. රැකියාව සිදු කරන අතරතුර නීතිය, වෛද්‍ය විද්‍යාව, උසස් ලතින් හා ග්‍රීක භාෂා ශාස්ත්‍ර උගත්තේය. කවදා කොහි කවර දේ ඉගෙන ගත්තද තාරකා පිරි අහස පිළිබඳව උනන්දුව ඔහු තුල කිසි දිනෙක අඩු වූයේ නැත.

එවකට උගතුන් හා වියතුන් හට මධ්‍යස්ථාන වී තිබූ පාදුවා, මිලාන්, වැනිස්, ජිනෝවා, යන ඉතාලි නගරවල නිකලස් විසින් පවත්වන ලද දේශනවලින් ඔහුට මහත් කීර්තියක් සහ උගත් සමාජයේ විද්වතකු ලෙස පිළිගැන්මක් ලැබිණි.

කොපර්නිකස් ජීවත් වූ සමාජය මුළුමනින් ම නිදහස් එකක් නොවීය. ක්‍රි.පූ.384 දී ඇරිස්ටෝටල් විසින් කියා තිබූ "විශ්වයේ කේන්ද්‍රය පෘථිවියයි" යන පෘථිවි කේන්ද්‍රවාදී (Geocentric) මතයට එරෙහි වීම මරණීය දඬුවමට යටත් කළ හැකි අපරාධයක් ලෙස සලකනු ලැබීය.ඔහු කලක් තිස්සේ සිදු කරන ලද ගවේශනවලින් ප්‍රකාශ වූයේ ඊට මුළුමනින් ම විරෝධී "සූර්‍ය කේන්ද්‍රවාදී" (Helioctric) මතයකි. ඔහුට නිසැකවම ප්‍රත්‍යක්ශ වූයේ සූර්‍යයා කේන්ද්‍රය කොටගෙන පෘථිවිය ඇතුළු ග්‍රහලෝක ඒ වටා භ්‍රමණය වන බවයි.පෘථිවිය අචල වස්තුවක් නොව අනන්ත අප්‍රමාණ තාරකා හා ග්‍රහලෝක සහිත විශ්වයේ ඇබිති ග්‍රහලෝකයක් වන බවයි.



මෙම අදහස් කොතරම් නිවැරදි දැයි ඔහුට ඒත්තු ගියද ඒවා මුද්‍රණාද්වාරයෙන් පළ කිරීමට ඔහු පැකිළුණි. මන්ද එසේ කළ හොත් ඔහුට ලැබෙන දඬුවම වනුයේ ඔහු කණුවක බැඳ ගිනි ගස්වා මරා දැමීම බව ඔහු දැන සිටි හෙයිනි. ඔහු කළේ තම නව අදහස් සහිත ලේඛණ මතු පරපුර සඳහා සුරැකිව තැබීමයි. සුදුසු කාලය පැමිණි විට ඒවා පිළිගනු ඇතැයි ඔහු විශ්වාස කරනු ලැබීය.

ඔහු වර්ශ 1543 දී පෝලන්තයේ ෆ්රවුන්බර්ග් නගරයේදී මිය යන ලදී. ඔහුගේ මරණින් මතු ඔහු ලියා තැබූ ඔහුගේ අදහස් "ආකාශ වස්තූන්ගේ පරිභ්‍රමණය" යන මාතෘකාව යටතේ පළ විය. එහි ප්‍රකාශ කොට ඇති අදහස් සත්‍ය වන බව පසු කාලීනව ජොහැන්නස් කෙප්ලර් හා ගැලීලියෝ ගැලීලි යන විද්වතුන් විසින් මේ වන විට සනාථ කර අවසන්‍ ය.
වසර දෙදහසක් පමණ කාලයක් පිළිගනු ලැබූ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රයයි යන මතය හා ඒ හා බැඳුණු අනෙකුත් අදහස් මුළුමනින් ම වෙනස් කරමින් කොපර්නිකස් කරන ලද කටයුතු කොපර්නිකානු විප්ලවය (The Copernican Revolution) යනුවෙන් හැඳින්වේ. තාරකා විද්‍යාවේ පමනක් නොව ලොව කවර විද්‍යා ශාස්ත්‍රයක වුව ද එතෙක් පැවති මතවලට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් මත ප්‍රකාශනයක් සිදු වුවහොත් එය මෙනමින් හඳුන්වනු ලබයි.


No comments